Recent Posts Widget

June 25, 2020

SriGift


සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් තඹ ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි 4 1/2ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.

මේ අතර ප්‍රහාරයට දින දෙකකට පෙර ඉන්ෂාෆ් අහමඩ් රට යන බව හඟවමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ හොර රහසේ නැවතත් දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස වෙත යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙලක් ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

2017 දී වරෙන්තු ලැබ සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පලායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බවට හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශය ඊයේ (23) දින අප "දෙරණ අරුණ" සහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ ඔස්සේ වාර්තා කළේය.

එම වාර්තාකරණය අසත්‍යක් බව රිෂාඩ්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් විසින් ජනාධිපති කොමිසමට ඊයේ දින ලිපියක් යොමු කර තිබුණි.

එම ලිපියේ රිෆ්කාන් සඳහන් කර තිබුනේ දෙරණ අරුණ හරහා විකාශය වු ප්‍රවෘත්තිය අසත්‍ය වන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින තම සහෝදර රියාජ් හෝ තමා කිසිදු දිනක සහරාන් හෂීම් මුණගැසි නොමැති බවය.

එම ලිපියට අනුව හිටපු බුද්ධි අධ්‍යක්ෂකරවයාගෙන් ඊයේ දින ජනාධිපති කොමිසම විමසීමක් කළේය.

එහිදි හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා, සිය සාක්ෂිය තහවුරු කරමින් සඳහන් කළේ සහරාන්ට ඉන්දියාවට පලා යාමට උපකාර කළ බවට තමන් වෙත ලද බුද්ධි තොරතුරේ පැහැදිලි ලෙස රිෆ්කාන් බදියුදින්ගේ නම සටහන් ව තිබූ බවය.

මේ අතර පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර් රවින්ද්‍ර විමලසිරි මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

එහිදි ඔහු සඳහන් කළේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතෙකු වන, සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා "කොලෝසස් (Colossus)" නම් ආයතනය හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

කාර්මික සංවර්ධන මණ්ඩලය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා යටතේ පැවති සමයේ කොලෝසස් ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් පැවැති ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා රිෂාඩ් බදියුදින් මහතා හමුවී ඇති බවද සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම  අබලි ද්‍රව්‍ය මුදාහැරීමේදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කොලෝසස් ආයතනය සඳහා සාපේක්ෂව ඉතා වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බව සිය විමර්ශනයේදි අනාවරණය වුයේ යැයි සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

සාක්ෂිකරු ජනාධිපති කොමිසමට පැවසුවේ, සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා තඹ ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි 4 1/2ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බවය.

අදාළ ගිණුමෙන් පසුගිය වසරේ අප්‍රේල් මස 10වන දින අවසන් වරට මුදල් ලබාගෙන තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා නැමැත්තිය ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25වන දින අත්අඩංගුවට ගත් අතර ඇය සන්තකයේ තිබු Pen Drive දෙකක් තුළ තිබි  My Final Audio නැමැති Folderය සොයා ගත් බවය.

එහි අභ්‍යන්තරයේ ඉන්ෂාෆ් අහමඩ් විසින් ඉංග්‍රීසි සහ දෙමළ බසින් පටිගත කරන ලද English Voice to Family නැමැති විනාඩි 35යි තත්ත්පර 16ක හඩපටයක්ද, Instructions to my wife නමින් විනාඩි 18 තත්ත්පර 34 ක හඩපටයක් ද හමු වූ බව සාක්ෂිකරු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරු වු ඉන්ෂාෆ් අහමඩ් සිය බිරිඳට ලබාදුන් උපදෙස් ඇතුළත් Instruction to my wife නැමැති දෙවන හඬපටයේ උපුටාගැනීම මෙසේය‍.

" මා සහ මගේ පියා කොලෝසස් (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරුන් බවට පත්කර සිටියත් එහි හිමිකාරිත්වයක් නැහැ. එබැවින් මා Colossus (Pvt) Ltd සමාගමේ 100% ක හිමිකාරීත්වය ඔබේ නමට ලියුවා. 

වැල්ලම්පිටිය දේපල දරුවන්ගේ නමට ලියුවා. මෙම Pen Drive එක තුළ ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න.

එසේ කලහොත් අපට හා දේපල වලට විරුද්ධ මෙය සාක්ෂියක් වේවි. ලෑන්ඩ් කෲසර් රථය මුස්ලිම් නොවන සිංහල හෝ දෙමළ, අයෙකුට විකුණන්න.

මා මේ රථය භාවිත කළ නිසා යම් විටක සිසිටීවි දර්ශන මගින් විමර්ශන කිරිමට හැකියාව තියෙනවා.

මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න අශ්ඛාන්ගේ තුවක්කුව ඉවත් කරන්න.

අපි හැමෝටම සඳුදා රාත්‍රී මැලේසියාවට යන්න ගුවන් ටිකට්පත් මිලදී ගත්තා.

මටත් එකක් ගත්තට මම එන්නේ නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳයි කියලා මාමත් එක්ක එහේ යන්න.

ශ්‍රී ලංකාව ආරක්ෂිත නම් මෙහේ ඉන්න. නමුත් දුරකථන භාවිතයේදී ප්‍රවේසම් වන්න. දුරකතනය යනු ඔත්තු බලන එකක්."

මේ අතර ඉන්ෂාෆ් අහමඩ් පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගැනිමට පෙර ආසන්න දින කිහිපය තුළ ආගිය ස්ථාන පිළිබදව මෙතෙක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොවු සිසිටීවි දර්ශන පෙළක් ඊයේ (23) පළමු වරට ජනාධිපති කොමිසම ඉදිරිපත් කෙරුණි.

මේ දර්ශනවලින් පෙන්නුම් කෙරෙන්නේ, ඉන්ෂාෆ් අහමඩ් 2019 අප්‍රේල් 19 වැනි දින සවස 3.30ත් 4.00ත් සුදු පැහැති ලෑන්ඩ් කෲසර් ජීප් රථයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන ආකාරයයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඉන්ෂාෆ්ගේ බිරිඳ, ෆාතිමා ශිෆ්කා සඳහන් කර ඇත්තේ සිය සැමියා ව්‍යාපාර කටයුත්තක් සදහා සැම්බියාව බලා යන බව සඳහන් කළ බැවින් එදින ඔහු සමග ගුවන් තොටුපොළට ගිය බවය.

එම රථය තුළ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ, දරුවන් සිවුදෙනා, බිරිදගේ පියාගේ රියදුරා සිට ඇති අතර ඉන්ෂාෆ් අහමඩ්ව ගුවන්තොටුපලට බැහැර කිරීමෙන් පසු බිරිඳ ඇතුළු පිරිස මන්නාරමට පිටවත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් එම පිරිස පිටත්ව ගිය පසු ගුවන්තොටුපොළ පර්යන්තයෙන් පිටතට පැමිණෙන සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා කුලී රථයක නැග, පැමිණ ඇත්තේ, දෙමටගොඩ  මහවිල උද්‍යානයේ පිහිටි සිය නිවෙස වෙතය.

අනතුරුව 21 වැනිදා උදෑසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රෝබේන් ආපන ශාලාවට ඇතුළුවන ඉන්ෂාෆ් අහමඩ් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හරින්නේ පෙරවරු 9.12 ට පමණය.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.