විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හතක ප්‍රකාශයක් ලබාදුන්නේය.
එම ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා හමුදාව අවතක්සේරු නොකරන බවය.
එල්.ටි.ටි.ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයාව සිටි විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා අම්පාර ප්‍රදේශයේදි යුද හමුදා සාමාජිකයින් ඝාතනය කිරීමේ සිද්ධියක් පීළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
ඒ අනුව දින 02කට පසුව අද (25) පෙරවරු 10.40 ට පමණ කරුණා අම්මාන් සිය ප්‍රකාශය ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
පැය 7 කට ආසන්න කාලයක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
එහිදී අදහස් දක්වමින් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙසේ පැවසීය.
“මම වුණු සිද්ධිය කියලා තියෙනවා. කිසිම වැරදි ආකාරයේ ප්‍රකාශයක් මම කළේ නැහැ. කාවවත් රිද්දන්න දේශපාලන ප්‍රචාරයක් මම කළේ නැහැ. මේක මාධ්‍යයෙන් ආපු පොඩි දෙයක්. මේ රටේ ජනතාවට අපි ආදරෙයි අපි ප්‍රචණ්ඩත්වයෙන් හා වර්ගවාදයෙන් තොරව මැතිවරණ ප්‍රචාරය දිගටම කරගෙන යනවා.“
ප්‍රශ්නය -ඔබේ ප්‍රකාශය ගැන දේශපාලනඥයින් ඔබට චෝදනා කරනවා ඒ ගැන මොනාද කියන්නේ?
විනයාගමූර්ති මුරලිදරන් -“ඒක වැරදියි. ඒ කාලේ වුණු දෙයක් මම මැතිවරණ ප්‍රචාරයේදී උපමාවට ගත්තා. මේක ලොකුවට ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. අපේ රජයට අපේ සිංහල ජනතාවගේ ඡන්ද අඩු කරන්න ගන්න වැඩපිළිවෙලක් .මේක අපි ජයගන්න ඕනේ.“
ප්‍රශ්නය -“ඔබේ අදහස ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොනවා හරි කිව්වද?“
විනයාගමූර්ති මුරලිදරන් - “අපි අම්පාර දිස්ත්‍රික්කයේ තනි දෙමළ පක්ෂයක් විදිහට තරග කරනවා. මම හිතන විදියට කිසිම පක්ෂයක හෝ පූජකවරු හෝ රිද්දවන විදිහට අපි කතාකරලා නැහැ.ඒ වගේම හමුදා ගැන අපි අවතක්සේරුවෙන් කතාකරලා නැහැ.අපේ හමුදාව බහුවිධ ජයග්‍රහණයක් කරලා තියෙනවා.ඒ වගේම ව්‍යසන අවස්ථාවලත් අපේ හමුදාව කැපවෙලා කටයුතු කරලා තියෙනවා ඒ හින්දා හමුදාව කවදාවත් මම අවතක්සේරු කරලා කතා කරලා නැහැ.“
මේ අතර දමිළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.
මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලෙහේපතිරණ මහතා විසිනි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ කරුණා අම්මාන් සිය ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති යටතේ සඳහන් වැරදි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදුකර ඇති බවය.
සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙය අපරාධයක් පිළිබඳව සිදුකළ පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව පෙත්සම්කරු පැවසීය.
මේ අතර විනයාගමූර්ති මුරලිදරන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණි.
Post a Comment