Recent Posts Widget

July 08, 2020

SriGift


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (07) නිවේදනය කළේය.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔහුට රෝගය ආසාදනය වූ මූලාශ්‍ර සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බවය.

රැඳවියාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් වන PCR පරීක්ෂණ ආරම්භ වී ඇති අතර එම ආශ්‍රිතයින් 174 දෙනෙකු නිරෝධායනයට ද යොමු කර තිබේ.

කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට ඉකුත් මාර්තු 20 වැනිදා යොමු කළ රැඳවියෙකු එම කටයුතුවලින් පසු පොළොන්නරුව බන්ධනාගාරය වෙත භාරදී තිබුණේ ඉකුත් ජුනි 26 වැනිදාය.

අනතුරුව ඔහුව ජුනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවේදී කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කරගෙන ඇත.

එම රැඳවියා ඇතුළු 40 දෙනෙකුගේ කණ්ඩායමක් කන්දකාඩුහි සිට වැලිකඩ බන්ධනාගාරය වෙත එවා තිබූ අතර ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂාවට ලක් කිරීමේන් අනතුරුව මෙම ආසාදිතයා හදුනාගෙන ඇත.

පසුව ආසාදිතයා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම සිද්ධියත් සමග වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් කැඳවීමද අද සිට දින නියමයක් නොමැතිව තාවකාලිකව නැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ආසාදිතයා සමග කන්දකාඩු හි සිටි ආශ්‍රිතයන් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ PCR පරීක්ෂණ ආරම්භ කර  ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

වැලිකඩ ආසාදිතයා සහ තවත් ආසාදිතයන් දෙදෙනෙකු අද හඳුනාගැනීමත් සමග මෙරට මුළු ආසාදිතයින් ගණන 2080 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් අතරින් අයෙක් ඉතියෝපියාවේ සිට මෙරටට පැමිණි අයෙකු වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකි.

ඒ අතර තවත් 38 දෙනෙකු ගතවූ පැය 24 තුළ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 1955 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 114 දෙනෙකු පමණි.

904 ක් වූ සමස්ත නාවික හමුදා ආසාදිතයින් අතරින් සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 888 දක්වා ඉහළ ගියේය.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණි.

යහලුවන්ටත් බලන්න Share කරන්න.

Post a Comment

Powered by Blogger.